දකුණු පළාත පිලිබද විස්තර කෙටියෙන්

මුල් පිටුව / දකුණු

දකුණු පළාත පිළිබද කෙටි හැදින්වීමක්

දකුණු පළාත ශ්‍රී ලංකාවේ පළාත් නවයෙන් එකකි. ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව 1987 දී 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් පළාත් සභා පිහිටුවීමත් සමග දකුණු පළාත ලෙස නීතිමය තත්වයක් නිර්මාණය විය. එය අනෙකුත් පළාත් හා සැසදීමේ දී භුගෝලීය වශයෙන් 7 වන විශාලතම පළාත වන අතර මිලියන 2.5 ක ජනතාවක් දකුණු පළාත තුල වාසය කරයි. දකුණු පළාත් මායිම් ලෙස උතුරින් සබරගමුව පළාත සහ ඌව පළාත, නැගෙනහිර පළාත ඊසාන දෙසින්, බටහිර පළාත වයඹ දෙසින් සහ ඉන්දියානු සාගරය දකුණට බටහිර සහ නැගෙනහිර පිහිටා ඇත. පළාතේ අගනුවර ගාල්ලයි. දකුණු පළාත ගාල්ල, මාතර සහ හම්බන්තොට යන දිස්ත්‍රික්ක තුනකින් සමන්විත භූගෝලීය ප්‍රදේශයකින් සමන්විතය.

දකුණු පළාතේ නිළ ධජය, පුෂ්පය සහ තේමා ගීතය

දකුණු පළාතේ නිළ ධජය

දකුණු පළාතේ ධජය, කුරක්කන් පාට (Meron) පසුබිමක කඩුවක් අල්ලාගෙන මධ්‍යයේ සිටින සිංහයෙක් ද, කහ මායිමකින් වට කරගත් සිවුකොන බෝ කොළ 4ක්ද, ධජයේ සිංහයාගේ දෙපස සූර්යයා සහ චන්ද්‍රයා ද නිරූපණය කෙරේ. 1987 වර්ෂයේ දී දකුණු පළාත සඳහා පළාත් ධජය ලෙස මෙය සම්මත කරන ලදී.

දකුණු පළාත් පුෂ්පය

හීන් බෝවිටියා ශාකය "මෙලාස්ටෝමැටේසී" පවුලේ ඔස්බෙකියා කුලයට අයත් වේ. එය ශ්‍රී ලංකාවට ආවේණික වන අතර ශ්‍රී ලංකාවේ වියළි කඳුකර ප්‍රදේශවල බහුලව දක්නට ලැබේ. රෝස-දම් පාටින් යුත් මල් පෙති ඇති අතර පුෂ්පය පෙති පහකින් සමන්විත වේ. හීන් බෝවිටියා ශාකයේ මල් හටගැනීම ලිහිල් පොකුරු ලෙස පෙනෙන අතර තනි පැළයක් මත මල් කිහිපයක් පමණක් දැකිය හැක.

දකුණු පළාත් නිල තේමා ගීතය

දකුණු පළාතේ නිල තේමා ගීතය ප්‍රවීණ ගේයපද රචක රත්න ශ්‍රි විජේසිංහ මහතා විසින් නිර්මාණය කර ඇති අතර එහි සුමිහිරි ගායනය ප්‍රවීණ ගායන ශිල්පී සුනිල් එදිරිසිංහ මහතා විසින් සිදු කරයි.

දකුණු පළාතේ පිහිටා ඇති ඓතිහාසික ප්‍රසිද්ධ සහ සුන්දර ස්ථාන

ගාලු කොටුව

ශ්‍රි ලංකාවේ නිරිතදිග වෙරළ තීරයේ ගාලු බොක්කෙහි පිහිටි ගාලු කොටුව 1588 දී පෘතුගීසීන් විසින් ප්‍රථම වරට ඉදිකරන ලදී. 1649 සිට 17 වන සියවස දක්වා ලන්දේසීන් විසින් පුළුල් ලෙස ශක්තිමත් කරන ලදී. සංචාරකයින්ගේ ආකර්ෂණය සහිත ලෝක උරුම සංරක්ෂිත ස්ථානයකි.

වෙහෙරහේන රජමහා විහාරය

සුප්‍රසිද්ධ බුද්ධ ප්‍රතිමාවක් සහ සිතුවම්වලින් පිරුණු උමං මාර්ග සහිත පෞරාණික ඉතා ප්‍රසිද්ධ රජ මහා විහාරයකි. මාතර නගරය ආශ්‍රිතව පිහිටා ඇත.

මාතර බෝධිය

මාතර බෝධිය යනු මාතර නගර මධ්‍යයේ හි පිහිටි පූජනීය බෝ රුකකි. එහි මූලාරම්භය කුමාර ධර්මසේන රජු හෝ සිගිරි කාශ්‍යප රජුගේ පුත් කුමාර දතුසේන කේන්ද්‍ර කර ගත් ජනකථාවක් දක්වා දිව යයි. පූජනීය මෙන්ම සංචාරක ආකර්ශනය සහිත ස්ථානයකි.

දූවිලි ඇල්ල

දූවිලි ඇල්ල වලවේ ගංගාව මගින් නිර්මාණය වී ඇත. දූවිලි දිය ඇල්ල ගාල්ල දිස්ත්‍රික්කයේ නෙළුව ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ කොස්මුල්ලා ග්‍රාමයේ පිහිටා ඇත. එය නෙළුවේ නගරයේ සිට කි.මී 7 පමණ දුරකින් පිහිටා ඇත. මෙය සංචාරක ආකර්ශනය සහිත ස්ථානයකි.

හුම්මානය

හුම්මානය යනු ශ්‍රී ලංකාවේ ඇති එකම හුම්මානය වන අතර එය ලෝකයේ දෙවන විශාලතම හුම්මානය ලෙස සැලකේ. මෙය මාතර දිස්ත්‍රික්කයේ දික්වැල්ල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ නිල් වැල්ල ග්‍රාමයේ පිහිටා ඇත. ඉතා සුන්දර සංචාරක ස්ථානයකි.

උස්සන්ගොඩ

උස්සන්ගොඩ යනු ස්වාභාවික සුන්දරත්වයෙන් යුක්ත පුරාවිද්‍යාත්මක ස්ථානයකි. මෙය හම්බන්තොට දිස්ත්‍රික්කයේ අම්බලන්තොට - නෝනගම හන්දිය අසල පිහිටා ඇත. එය ස්වභාවික රක්ෂිතයක් වන අතර දකුණු කැස්බෑ අභිජනන කලාප ද මෙය ආශ්‍රිතව පිහිටා ඇත.

සිංහරාජය වනාන්තරය

සිංහරාජ රක්ෂිතය වනාන්තරය යුනෙස්කෝව විසින් ජෛවගෝල රක්ෂිතයක් සහ ලෝක උරුමයක් ලෙස නම් කර ඇති වනාන්තරයකි. එය ජාත්‍යන්තර වැදගත්කමක් ඇති අතර එය ඉතා විශාල භුමි ප්‍රදේශයක ව්‍යාප්තව පවති. එය ගාල්ල, මාතර සහ රත්නපුර යන දිස්ත්‍රික්ක වලට මායිම්ව පවති.

උණුදිය පොකුණු

මදුනාගල උණු වතුර උල්පත් සූරියවැව සහ රිදියගම අතර විශාල කුඹුරු යායක පිහිටා ඇති සුන්දර හා සංචාරක ආකර්ශනය සහිත ස්ථානයකි. මෙය හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඒජන්තවරයෙක් වශයෙන් සේවය කල ඉංග්‍රිසි ජාතික ලෙනාඩ් වුල්ෆ් විසින් සොයා ගන්නා ලදි.

වියළි කලාප උද්භිද උද්‍යානය

මිරිජ්ජවිල උද්භිද උද්‍යානය යනු ශ්‍රී ලංකාවේ උද්භිද උද්‍යාන පහෙන් එකකි. අනෙක් උද්භිද උද්‍යාන වන්නේ පේරාදෙනිය උද්භිද උද්‍යානය, හග්ගල උද්භිද උද්‍යානය, හෙනරත්ගොඩ උද්භිද උද්‍යානය සහ සීතාවක උද්භිද උද්‍යානය. නමුත් මිරිජ්ජවිල උද්භිද උද්‍යානය විශේෂත්වය වන්නේ එය ලංකාවේ එකම වියළි කලාපීය උද්භිද උද්‍යානය වීමය.

සුන්දර වෙරළ තීරය

දකුණු වෙරළ තීරය ශ්‍රි ලංකාවේ ප්‍රසිද්ධ වෙරළබඩ ස්ථාන සහ බොහෝ ක්‍රියාකාරකම් වලින් පිරී පවතින වෙරළ තීරයකි. දකුණු වෙරළ තීරය බෙන්තර සුන්දර වෙරළ තීරයෙන් ආරම්භ වී යාල වෙරළ තීරය දක්වා ව්‍යාප්තව පවති.

පරවි දූපත

මාතර පරෙවි දූපත ශ්‍රී ලංකාව ඇති පෞරාණික ස්ථාන අතරින් දිගු ඉතිහාසයක් සහිත ස්ථානයකි.

දෙවුන්දර ප්‍රදීපාගාරය

දෙවුන්දර ප්‍රදීපාගාරය ශ්‍රී ලංකාවේ උසම ප්‍රදීපාගාරය වන අතර ගිනිකොනදිග ආසියාවේ ඇති උසම ප්‍රදිපාගාරවලින් එකකි. මෙය ශ්‍රි ලංකාවේ දෙවුන්දර වෙරළෙහි පිහිටා ඇත.